peter the rock meaning!


පේදුරු සභාවේ පර්වතයද?


පේදුරු (පේත්‍රස්) සභාවේ නායකයා හෝ ප්‍රධානියා යැයි ජේසු විසින් ප්‍රකාශ කලාද? මේ සිදුවීම පිළිබද දේව වචනයේ සඳහන් වෙන්නේ මතෙව් 16:18 සිටයි. අපි සෝදිසි කර බලමු මේ පද තුලින් ජේසු පවසන්නේ කුමක්ද කියා! ඔබ දැන සිටි ඔබට ඉගැන්වු කාරණා මොහොතකට අමතක කර හිස්වු මනසකින් යුතුව මේ කාරණා පිළිබද ඔබේ අවධානය යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. දේව වචනය තුලින්ම අපි කාරණා සොයා බලා පිළිතුරු සපයා ගමු.

මම නුඹට කියමි: නුඹ පේදුරුය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි, පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.

මදකට ඔබේ අවධානය පර්වතය කියන වචනය වෙත යොමු කරන්න. ඔබ දන්නවා ඇති නව ගිවිසුම ලියවුනේ Greek සහ Aramaic භාශා වලින් බව. මෙහිදි ජේසු, නුඹ පේදුරු කියලා කියනවා. Greek භාශාවෙන් පේදුරු කියා ලියා තිබෙන්නේ "පෙට්රොස්" යනුවෙනුයි. එහි සිංහල අරුත ‘ගලක කොටසක් හෝ පර්වතයක කොටසක් '. වෙනත් විදියකින් කිව්වොත් ‘ගල් කැටයක්’ යනුයි. ජේසු ඊළඟ පදයෙන් කියනවා 'තවද මේ පර්වතය'' කියලා.

මෙතන ‘පර්වතය’ කියන පදයට යොදා තිබෙන එම භාශාවේ වචනය ' පෙට්රා' යනුයි. එනම් විශාල ගලක් එහෙමත් නැත්නම් 'පර්වතයක්'. මෙම පද වල ජේසු එකිනෙකට වචන දෙකක් යොදා ගන්නවා. මුල වචනය 'පෙට්රොස්' සහ දෙවැනි වචනය 'පෙට්රා' යනුවෙන්. නැවත පැහැදිළි කලොත් මේ වචන දෙකේ තේරුම ‘පර්වතයක කොටසක් සහ පර්වතයක්’. අපි දැන් මේ තේරුම් ගැනීමත් සමග නැවත වරක් එම පදය කියවමු.

'' මම නුඹට කියමි. නුඹ පර්වතයේ කොටසක්ය (පෙට්‍රොස්ය). නමුත්, මේ පර්වතය පිට (පෙට්රා / ජේසු පිට) මාගේ සභාව ගොඩ නගන්නෙමි.''

ඔබට පැහැදිළි වුනාද කවුද පර්වතයේ කොටස, කවුද පර්වතය බව? පහත රූපය දෙස බලා මෙය තේරුම්ගන්න. පේදුරු යනු පර්වතයේ කොටසක් බවත් පර්වතය යනු ක්‍රිස්තුස්වහන්සේ, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ බව පේදුරුම සාක්ශි දෙනවා මතෙව් 16:16

සීමොන් පේදුරු උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යයි කීවෝය.

ඉහත ජේසු පෙදුරුට කල ප්‍රකාශය හරහා පවසන්නේ උන්වහන්සෙගෙන් පසු ඇරඹෙන සභාවත් සමඟ ඔවුන් සියලුදෙනා එහි කොටස්කරුවන් වන බවයි. මෙය පේදුරුම අරමුණු කොට කියන්නේ, ඔහු විසින් ජේසුව ප්‍රතික්ශේප කරන බව දන්නා බැවින් ඔහුට ශක්තියක් ලෙසත් සහ පසුකාලිනව එය මතක් කරදීමක් හැටියටයි. සරලව සිතුවොත් ඔබේ මිතුරා යම් අවධානමකට මුහුන දීම ගැන ඔබ කලින් දැන සිටිනවානම් ඔහු දිරිගැන්වීමට පවසන දෙයක් මෙන්ය. එවිට එම අවස්ථාවට මුහුණ දෙන විට ඔබ පැවසු දෙය ඔහුට ශක්තියක් වනු ඇත. තවදුරටත් මෙය පැහැදිළි කිරීමට ජොහන් 21:15 බලන්න. උන්වහන්සේගේ උත්ථානයෙන් පසු මුහුද ලඟ පේදුරුගෙන් තුන් වරක් තම බැටළුවන් බලා ගැනීමට අණ කලේ තුන් වරක්ම ඔහු ජේසුව ප්‍රතික්ශේප කල බව මතක් කර දීමටත් එය හේතුකොටගෙන ඔහුව තව තවත් ඉදිරි කාර්යයන් සඳහා ශක්තිමත් කිරීමටය. මක්නිසාද පේදුරු සහ ජුදාස් යන දෙදෙනාම කලේ එකම පාපයයි. ජුදාස් තම ජීවිතය නැති කරගත් නමුත් පේදුරු මනස්තාපනය වී නැවත උන්වහන්සේ සමඟ බද්ධවීමට පුලුවන්කම ලැබීමට මතෙව් 16:18 ප්‍රකාශය හේතුවන්නට පුලුවන. ජේසුගේ මෙම ප්‍රකාශනය පේදුරුගේ පසුකාලීන සේවයට රුකුලක් වන බව උන්වහන්සේ දැන සිටියා.

මොහොතක් සිතන්න. ජේසු පේදුරු මත සභාව ගොඩ නගනවා කියලා ඊට සුලු මොහොතකට පසු සාතන් කියලා පේදුරුට තරවටු කරනවා. මතෙව් 16:23;

නුමුත් උන්වහන්සේ හැරි පේදුරුට කතාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය, මක්නිසාද, නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතැයි කීසේක.

පසුකාලීනව 1 පේදුරු 2:5 පේදුරුම කියනවා අපි සියලු දෙනා උන්වහන්සේගේ ආත්මික ගෲහයේ ජීවමාන ගල් බව. ඒ කියන්නේ පේදුරුත් ඇතුලුව නේද? අපි සියලු දෙනාටම ඒ ආත්මික ගෲහය ගොනැගීමේ වගකීම තිබෙනවා නම් පේදුරු වගේම අපිත් එකේ කොටස්කරුවෝ බව වටහා ගන්න.

නුඹලාත් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවු ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩ නගනු ලබන්නහුය. ඉන්නිසා: බලව, තෝරාගත් අනර්ඝ,කොනේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ.

පැහැදිළිද? එම ගොඩනැගිල්ලේ ප්‍රධාන ගල ජේසු බව පේදුරු විසින්ම කියා පානවා. තවදුරටත් මේ ගැන ඔබ දැනුවත් කිරීමට පරණ ගිවිසුම වෙත යොමු වෙමු. එහි ‘පර්වතය’ යන වචනය 74 වාරයක් පාවිච්චි වෙනවා. බොහෝ වර එයින් එළිදරව් කරන්නේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගෙ ගුණාංග ගැනයි. මෙන්න එයින් කිහිපයක්. ගීතාවලිය 18:2

ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය. මාගේ බල කොටුවය, මාගේ මිදුම්කාරයාණෝය. මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණකොට ගන්නෙමි, උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.

ද්වීතික කථාව 32:4

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.

2 සාමුවෙල් 22:2

peter the rock

ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය. මාගේ බල කොටුවය, මාගේ මිදුම්කාරයාණෝය.

ගීතාවලිය 18:31

මක්නිසාද ස්වාමින් හැර වෙන දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?

මේ බොහෝ පද අතරින් කිහිපයක් පමණි. ඉහතින් පවසන්නේ අපේ පර්වතය දෙවියන්වහන්සේ කියන එකයි. මේ අදහසත් සමග පාවුලු කොරින්ති 10:3 - 4 කාන්තාර ගමනේ පාඩම් කොරින්ති සභාවට විස්තර කරද්දී කරන මෙම ප්‍රකාශයෙන් ඔබට සියල්ල පැහැදිළිවේ යැයි අපි විශ්වාස කරනවා.

සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත් සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය, ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේය.

ඔබම සොයා බලන්න, දේව වචනයේ මනුෂ්‍යයෙකුව කිසි කලක පර්වතයකට සමාන කලේද යන්න. ජේසු, සභාවේ හිස නම් අපි සියල්ලෝම ඒ කියන්නේ උන්වහන්සේගෙ ගෝලොයොත් ඇදහිලිවන්තයෝත් අතුලු සියලු දෙනාම ඒ ශරීරයේ අවයව. ඇරත් පේදුරුගේ හෝ වෙන කිසි පුද්ගලයෙකුගේ නායකත්වයක් ගැන ක්‍රියා පොතේ හෝ වෙන කිසිම තැනක සඳහනක් නෑ. නමුත් පේදුරුට පාවුලු විසින් සියල්ලන් ඉදිරියේ තරවටු කල බවට ගලාති පොතේ සඳහන් වෙනවා. ඔහු සභාවේ නායකයා වශයෙන් සිටියානම් එසේ තරවටු කිරීම යුතුද? ගලාති 2:11 සහ 14 වෙන පද බලන්න.

තවද පේදුරු අන්තියෝකියට ආ කල ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි. නමුත් මම වනාහි ඔවුන් සුභ ආරංචියේ සැබෑවේ හැටියට ඇද නැති කමින් නොහැසුරුනු බව දැක සියල්ලන් ඉදිරියේ පේදුරුට කතා කරමින් නුඹ යුදෙව්වෙක්ව සිට යුදෙව්වරුන් ලෙස නොව අන්‍ය ජාතින් ලෙස හැසිරෙනවානම් අන්‍ය ජාතීන්ට යුදෙව්වරුන් මෙන් හැසිරෙන්ට බල කරන්නේ කෙසේදැයි කීමි.

එසේම ක්‍රියා පොතේ අන්‍ය ජාතින් අතරට පාවුළු සහ බර්නබස් යැවීමට තීරණය කලේ කවුද? නායකයා වශයෙන් සිටි පේදුරුද? එසේ නොව; ක්‍රියා 15:22 බලන්න.

එකල තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගෙන පාවුළු සහ බර්නබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනී ගියේය.

මෙහි පේදුරු යනු වැඩිමහල්ලෙක්ද ප්‍රේරිතයෙක්ද? පේදුරු නම් ප්‍රේරිතයෙකි. එම අවස්ථාවේ සභාවේ වැඩිමහල්ලන් ලෙස වෙනම කණ්ඩායමක් සිටිය බව ඔබට පැහැදිලිද? ක්‍රියා පොත ඔබ කියෙව්වොත් ඔබට එය තවත් අනාවරණය වෙයි. අද මහා සභාවේ නායකයා මෙන් මෙතැනදී පේදුරු ක්‍රියා කලේද යන්න සිතා බලන්න. තවදුරටත්, අප පූර්ණතවයට පැමිණෙන්නේ සභාව හෝ එහි නායකත්වය කරණකොටගෙන නොව ජේසුස්වහන්සේගෙම සිත අප තුල පතිත වී උන්වහන්සේ අනුගමනය කිරීමෙන්ය. කොලොස්සි 2:10 බලන්න.

සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.

කොලොස්සි 1:18 බලන්න.

උන්වහන්සේ සභාව නැමති ශරීරයට හිසව සිටින සේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටින සේක. එසේ සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානියාව සිටින පිණිසය.

ප්‍රධානියා විසින් තවත් ප්‍රධානියෙක් පත් නොකල බව තේරුම් ගන්න. සභාවේ වර්ධනය උදෙසා වැඩිමහල්ලන්, පූජකවරු, ගෝලයන් පත් කර ගත්තද උන්වහන්සේ වෙනුවෙන් මෙලොව නියෝජනය කිරීමට කිසිඳු මනුෂ්‍යයෙක් නොමැත. අප සියලු දෙනාට එදා පාවුලු පේදුරු මෙන් එඩේරුන් අවශ්‍යය බව කිසිම සැකයක් නැත. එය එසේ විය යුතුය. නමුත් අප සියල්ලන්ටම හිසව අපේ ප්‍රධානියාව සිටින්නේ ජේසුස්වහන්සේ පමණි. උන්වහන්සේ ශරීරයේ හිස බැවින් එතැන් පටන් අප සියලු දෙනා එහි අවයවයන්ව හිසට සම්බන්ධව සිටී.

අවසාන වශයෙන්, පේදුරු යනු ජේසුස්වහන්සේ වෙනුවෙන් තම ජීවිතය පූජා කල උන්වහන්සේගේ අනර්ඝතම අනුගාමිකයෙක්. ඒ වෙනුවෙන් ඔහුට හිමි විය යුතු විපාකය ස්ථීර ලෙසම උන්වහන්සෙගේ දෙවැනි පැමිණීමේදි ඔහුට පිරි නැමේ. ඒ ගැන කිසිම සැකයක් නැත. ඔවුන් එදා කල සේවය කරණකොටගෙන අද මුලු ලෝකය පුරා ඒ සුභ ආරංචිය දේශනා වෙනවා. නමුත් ජේසුට පමණක් අයිති ඒ දේවත්වය සහ නියෝජනය මනුෂ්‍යයෙකුට ප්‍රධානය කිරීම පේදුරු පවා අද ජීවත්ව සිටියා නම් අනුමත නොකරන බව නොඅනුමානයි. යෙසාය 26:4 වෙනි පදය ඔබට දන්වා අපි නිහඬ වෙන්නම් නමුත් තීරණය ඔබ සතුයි! මන්ද ඔබත් උන්වහන්සේත් අතර වෙන කිසිඳු පුද්ගලයෙක් නොසිටින බැවිනි. යෙසායා 26:4

ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරපල්ලා. මක්නිසාද යෙහෝවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.