Real Jesus vs False Jesus


වතිකානුවෙන් පෙන්වන ජේසු සහ දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණුන ජේසු අතර වෙනස!


ඔයාගේ තාත්තගේ උපත, ඒ වගේම ඔහුගේ ජීවිතය ගැන තොරතුරු, ඔහු කල දේවල්, විකෘති කරලා කවුරු හරි කිව්වොත්, ඔයා කියන්නේ මොකක්ද? ඒ ඔයාගේ තාත්තා නෙමේ, වෙන පුද්ගලයෙකු වෙන්න ඇති කියලා නේද? පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ගැන කියන විස්තර වැරදි විදියට කිව්වොත්, ඒකෙන් ඒ පුද්ගලයාගේ නියම ස්වාභයය අපට හඳුනා ගන්න බැරි වෙනවා. අපිට උගන්වලා තිබෙන අපි අදහන දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැයි කියන ජේසු සහ දේව වචනයෙන් අපට ප්‍රකාශ වන ජේසු යන දෙදෙනාම එකම පුද්ගලයෙක්ද? ඔයා හිතයි අපි අහන්නේ මෝඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මේ වීඩියෝ එක අවසානයේ, ඔයා ඒක මෝඩ ප්‍රශ්නයක්ද කියලා හිතලා බලන්න. වැඩි දුර කතා කරන්නේ නැතුව ඔයා දැනගෙන හිටපු ජේසුයි, දේව වචනයේ ඉන්න ජේසුයි අතර මේ වගේ අසමානතාවයන් තියෙනවා කියලා ඔයා දැනගෙන සිටියද?

ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙන් පසු ලෝකයට හඳුන්වා දුන් ජේසු ඉපදුනේ දෙසැම්බර් 25නිදා. නමුත් බයිබලයේ කරුණු වලින් සනාථ වන්නේ උන්වන්සේ කුඩාරම් මංගල්‍යය අවධියේ ඒ කියන්නේ සැත්තැම්බර්/ඔක්තොබර් යන කාලයේ මාංශවත් වුණා කියලයි. ඒක දේව වචනයෙන් ඔප්පු කරන්න පුළුවන්.

වතිකානුවෙන් කියන්නේ උන්වහන්සේ ‘මහා සිකුරාදා’ කුරුසපත් වුණා කියලයි. නමුත් බයිබලයේ කියන්නේ අබිබ් මාසයේ 14නිදා, ඒ කියන්නේ ඉශ්‍රායලයේ ‘පාස්කු බැටළුවා’ පුජා කරන දවසේ සවස උන්වහන්සේ කුරුසපත් වුණා කියලයි. ඒ දවසට දේව වචනයේ කියන්නේ, පාස්කු මංගල්‍යය කියලයි. ලෙවී කතාවේ 23:5 පාස්කු මංගල්‍යය සැමරීම ගැන කියනවා.

පළමුවෙනි මස, දස සතරවෙනි දින සවස, ස්වාමින්වහන්සේගේ පාස්කුවවේ.

මාර්ක් 14:12, උන්වහන්සේ සහ ගෝලයෝ, සමරන්න ලෑස්ති වෙන්නේ ඒ මංගල්‍යයයි.

පාස්කුව පුජා කරන මුහුන් නුමුසු රොටී කන පළමු දවසේ උන්වහන්සේගේ ගෝලයෝ; ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළ කරනවාට කැමතිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

සභාව කියන්නේ උන්වහන්සේ සිකුරාදා සවස කුරුසපත් වෙලා ඉරුදින උදේ උත්ථාන වුණා කියලයි. ඔයා ඒක ගණන් හදලා බැලුවොත් තේරෙයි උන්වහන්සේ කුරුසපත් වෙලා දවස් එකහා මාරකට පස්සේ නැගිටුණා කියලා. නමුත් ජේසුස්වහන්සේම, තම මරණය ගැන, අපට දීපු ලකුණ නම්, පොළෝ ගැබේ දවස් තුනක් සහ රාත්‍රී තුනක් උන්වහන්සේ ඉන්නවා කියලයි. මතෙව් 12:39 බලන්න.

උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් නපුරු වූ කාමමිත්‍යාචාරික වූ පරම්පරාවක් ලකුණක් සොයයි. නමුත් අනාගතවෘක්තු යෝනගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. මක්නිසාද මහා මත්සයාගේ බඩේ දහවල් තුනක් සහ රෑ තුනක්ද සිටියාක් මෙන් මනුෂ්‍යයා පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක් සහ රෑ තුනක්ද සිටින්නේය.

කිතුනුවා උන්වහන්සේ උත්ථාන වූ දවස හඳුන්වන්නේ, Easter Sunday කියලයි. ඒ කියන්නේ, ‘පාස්කු ඉරිදා’ කියලයි. පුදුමයට කරුණ නම් එහෙම වචනයක් ගැන, දේව වචනය කොහෙවත්ම ඔයාට අහන්න ලැබෙනේ නැහැ. නමුත් බයිබලයේ පෙන්නුම් කරන විදියට උන්වහන්සේ සතියේ පළමු දින, ‘නාඹුල් පල මංගල්‍යය’ සමරන දවසේ උත්ථාන වෙලා තියෙන්නේ. සමහරවිට ඔයා උන්වහන්සේ පවත්වන්න කියලා අණ කරපු මංගල්‍යයන් ගැන දන්නේ නැති නිසා ඒ මංගල්‍යය ගැන ඔයාට දැනුමක් නැතුව ඇති. ලෙවී කතාවේ 23:10 ඒ ගැන කියනවා.

මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්සයෙන් නාඹුල් පල මිටිය පුජකයා වෙතට ගෙනෙල්ලා. ඒ මිටිය ස්වාමින්වහන්සේ ඉදිරියේ පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ එය තේව කරන්නේය. සබත් දවසට පසුවදා (සතියේ පළමු දා) පුජකයා එය තේව කෙරේවා.

ජේසුස්වහන්සේත්, උත්ථාන වූ දවසත් එදාමයි. ඒ කියන්නේ සබත් දවසට පසු සතියේ පළමුදා. මතෙව් 28:1 කියෙව්වොත් ඔයාට මේක පැහැදිලියි.

සබත් දවස නිමවන්නට ලංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි මග්දලාහි මරියාද අනික් මරියාද සොහොන් ගෙය බලන්නට ගියෝය.

මරණයෙන් උත්ථාන වූ නාඹුල් පලය තමයි ජේසු. මේ බලන්න පාවුළු 1 කොරින්ති 15:20 ඒක කියනවා.

නමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින සේක්මය. උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ, නාඹුල් පලයය.

සභාව කියනවා ජේසු සබත් දවස අහෝසි කලා කියලා. නමුත් බයිබලයේ පෙන්වන්නේ, උන්වහන්සේ සබත් දවසට කීකරු වුණා කියලයි. ඒ වගේම ඔවුන් කියනවා ජේසු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අවලංගු කල කියලා. නමුත් දේව වචනයේ උන්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කීකරු වුණා විතරක් නොවේ ඒක පවත්වන්න කියලා අපට අණ කරනවා. මතෙව් 23:1, ඔබ සෝදිසි කර බලන්න.

එකල ජේසුස්වහන්සේ සමුහයන්ටත් තමන් ගෝලයන්ටත් කතාකොට: ලියන්නෝද පරිසිවරුද මෝසෙස්ගේ ආසනයේ හිඳිති. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ට කරපල්ලා නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා.මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.

සභාවෙන් පෙන්නුම් කරන විදියට ජේසුගේ ස්වරූපය දිගු කොණ්ඩයක් ඇති ඉතා කඩවසම් පිරිමියෙක්. නමුත් දේව වචනයෙන් කියන්නේ උන්වහන්සේ දැකීමට ප්‍රිය නැති කෙනෙකු කියලයි. ඒ විතරක් නෙමේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව පිරිමියෙකු කොණ්ඩය වැවීම ඔහුට අගෞරවයක්. නමුත් සභාවේ ජේසු දිගු කෙස් කළඹක් ඇති නිල්වන් ඇස් ඇති ඉතා කඩවසම් තරුණයෙක්. යෙසායා 53:2 උන්වහන්සේ ගැන මෙහම කියනවා කියලා ඔයා දන්නවද?

උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණ කමක්ද නැත.

ඔබ තවමත් සිතන්නේ ඔබ හඳුනා ගෙන සිටින ජේසුස් සහ දේව වචනයේ සිටින ජේසුස් එකම පුද්ගලයෙක් කියලද? පුද්ගලයෙකු ගැන තොරතුරු අසත්‍ය වුනොත් ඔහුගේ නියම ප්‍රතිරූපයට හානි සිදු වෙනවා. ජේසුස්ගේ උපත, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේ උත්ථාන වූ දිනය, උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ ස්වරුපය, ඔයා දැන සිටියට වඩා සෑහෙන වෙනස් නේද?

අපි මුලින් කිව්ව විදියට සභාව පෙන්වා දෙන ජේසු සහ දේව වචනයේ ප්‍රකාශ වන ජේසු යනු පුද්ගලයන් දෙදෙනෙකු බවයි. ඔවුන් පෙන්වා දෙන ජේසුගේ ක්‍රියා කලාපයත් අන්ත ක්‍රිස්තුස් ලෙස පැමිණෙන පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් අතර බොහෝ සමානකම් තිබෙනවා. මොකද මේ දෙන්නම දෙවියන්වහන්සේගේ වචනය සහ ව්‍යවස්ථාව අවලංගු කරපු, මිනිසුන්ගේ සිත් දිනා ගන්න උත්සහ කරන පුද්ගලයන් වීමයි. එහෙනම් අන්ත ක්‍රිස්තුස්ගේ පැමිණීමේදී ඔයත් ඔහු ‘ජේසුස්’ කියා රැවටෙයිද? අද ඔයාගේ ඇස් පෑදුනා නම් අපි මුලින් අහපු ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක් නෙමේ කියලා ඔයාට දැන් තේරෙයි.