Did Jesus Do Away With the Law?


දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කිතුනුවාට අදටත් වලංගුද?


දෙවියන්වහන්සේගෙ ව්‍යවස්ථාව එහෙම නැත්නම් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වනු ලබන බයිබලයේ පළමු පොත් පහේ සඳහන් දෙවියන්වහන්සේගෙ ආඥා සහ අණ පනත් (TORAH) කිතුනුවාට අදටත් වලංගුද? මේ ගැටලුව පිළිබඳව නව ගිවිසුමේ පවා කථා බහට ලක් වී තිබුනා. එනම් ඉශ්‍රාලිතයාට පමණද ඒ ව්‍යවස්ථාව අදාල, නැත්නම් ගැළවීම ලැබු අන්‍යය ජාතිකයාටත් එය අදාලද යන්න. මේ සම්බන්ධව මතභේදයට තුඩු දුන් සිදුවීම සඳහන් වන්නේ ක්‍රියා 15 වෙනි පරිච්චේදයේයි. පැහැදිළිවම ව්‍යවස්ථාව නැත්නම් ටෝරාව මොසෙස් හරහා දෙනු ලැබුවේ ඉශ්‍රාලිතයාටයි. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. නමුත් ආබ්‍රහම්ගේත්, ඊසාක්ගේත්, ජාකොබ්ගේත් දෙවි වු ස්වමීන්වහන්සේව අදහාගත් අන්‍යය ජාතිකයා, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීමෙන් ගැළවීම ලැබු පසු, ඔහු හෝ ඇය විසින් අනුගමනය කල යුතු අණ පනත් මොනවාද? මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව ඊශ්‍රායලයට පමණක්ද නැත්නම් ඇදහිල්ලෙන් ගැළවීම අයිති කරගත් කිතුනුවාටත් එය අදාලද?

සභාව ( සියලු කතෝලික සහ කිතුනු සභාවන් ) අතීතයේ සිටම ජේසුස්වහන්සේ විසින් නව ගිවිසුමේදී මෝසෙස්ගේ ව්‍යවස්ථාවත්, ආබ්‍රහම් සමඟ ඇතිවූ පොරොන්දුවේ ගිවිසුමත්, දේව මාළිගාව සහ ඊට අදාල ව්‍යවස්ථාවේ ඇති පණත් සහ විනිශ්‍යයන් අහෝසි කරනු ලැබු බව උගන්වනු ලබනවා. ඔවුන් පවසන්නේ ජේසුස්වහන්සේ අපේ පාපයේ මිදීමේ මිළය වශයෙන් අවසාන පූජාව ලෙස උනවහන්සේ තම ජීවිතය පූජා කල නිසා තවදුරටත් අපි ව්‍යවස්ථාවට යටත් නොවී උන්වහන්සේ ඇදහීමෙන් පැමිණෙන වරප්‍රසාදය (අනුග්‍රහය/Grace) හේතුකොටගෙන ජීවත්විය යුතු බවයි. සභාවේ ස්ථාවරය නම් අන්‍ය ජාතිකව සිට ගැළවීම ලැබු අප ව්‍යවස්ථාවට යටත් නැති බවත් එය හුදෙක් ඉශ්‍රාලිතයා උදෙසා පමණක්ය කියාත්ය. එපමණක් නොව ජේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ කුරුසියේ මරණයත් සමඟ එය අහෝසි කල බවත් පෙන්වාදෙනවා. අද සභාවේ මෙම ප්‍රකාශය ජේසුස්වහන්සේ විසින්ම නිශ්ප්‍රභා කරන අතර මා පැමිණියේ ව්‍යවස්ථාව අහෝසි කරනු පිණිස නොවේය යන්න මතෙව් 5:17 කීමෙන් අද සභාවේ ආදී පිතෲන් (Church fathers), වැඩිමහල්ලන්, පූජකයන් වැනි අය පවසන සියලු දෙයට කෙටි පිළිතුරක් වශයෙන් උන්වහන්සේ එය එදා කීවේ සභාව පසු කාලීනව එසේ උගන්වන බව දන්නා නිසයි. මේ බලන්න, නව ගිවිසුමේ කථා කරන සිදුවීම් වල සත්‍යය තහවුරු කිරීම සඳහා පරණ ගිවිසුමේ පද 855ක් නව ගිවිසුම තුල ගෙනහැර දක්වනවා. තර්කානුකුලව සිතුවොත්, පරණ ගිවිසුම අහෝසි වුනා නම් නව ගිවිසුමේ මේ ආකාරව පරණ ගිවිසුමේ පද යොදා ගැනීම ගැටලු සහගතයි නේද?

පරණ ගිවිසුමේ ඇතුලත් ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යත් අධ්‍යනය කිරීම තුලින් නාසරියේ ජේසු මෙසියස් බව ඉතා පැහැදිළිව අණාවරනය වෙනවා. (යෙසායා 53 බලන්න) පරණ ගිවිසුමේ කාරණා තව තවත් අධ්‍යනය කිරීම තුලින් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙනවා පමණක් නොව එහි ඇති සබත් දවස, දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් පැවැත්වීම (ලෙවී කථාව 23 බලන්න), පිරිසිඳු අපිරිසිඳු ආහාර අතර වෙනස සැලකීම (ලෙවී කථාව 11 බලන්න) යනාදි කාරණා බොහෝමයක් දැන උන්වහන්සෙට කීකරු වී එහි ආශිර්වාද ලබා ගැනීමට පුලුවන්කම ලැබෙනවා.

මේ ගැනත් සිතා බලන්න. ව්‍යවස්ථාව අහෝසි නම් අද කිතුනුවා අනුගමනය කල යුතු අණ පනත් මොනවාද? ව්‍යවස්ථාවක් නොමැතිව ඔබ පාපය හැඳින ගන්නේ කොහොමද? සභාව කියන්නේ ව්‍යවස්ථාවට පරිබාහිරව තිබෙන සභාවේ නීති, මිනිසුන් විසින් ස්ථාපිත කල ඒ සම්ප්‍රදායන්ද ගැලවීම උදෙසා අනුගමනය කල යුතුයි යන්නයි. මේ දෙයම නේද එදා ජේසුගේ කාලයේදීත් මතු වුන ගැටලුව? පරිසිවරු සහ සද්දිසිවරු මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අමතරව යුදෙව් වැඩිමහල්ලන් විසින් කාලයක් පුරාවට පවත්වාගෙන ආ සම්ප්‍රදායින් වලට කීකරු වී දෙවියන්වහන්සේගෙ ව්‍යවස්ථාව අමතක කල බව ජේසු ප්‍රසිද්ධියේම ඔවුන්ට තරවටු කලා.

මාර්ක් 7:8 ඔබ දෙවියන්වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායින් පිළිපදින්නහු ය''යි වදාළ සේක. මාර්ක් 7:13 මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේම සම්ප්‍රදායෙන් ඔබ දෙවියන්වහන්සේගේ වචන අවලංගු කරන්නහුය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය''යි වදාළ සේක.

මේ කාලයේ සභාවන් තුලට ජේසුස්වහන්සේ පැමිණියොත් ඔවුනුත් එදා මෙන් උන්වහන්සේ මූලධර්මවාදියෙකුයැයි හංවඩු ගසමින් අන්‍යයාකාර ඉගැන්වීම් යැයි කියමින් උන්වහන්සේව වැරදිකරුවෙකු මෙන් චෝදනා කරන බව දේව වචනය හැදැරීමෙන් ඔබට තේරුම්යයි. තවදුරටත් සභාව විසින් හිතාමතාම අත්හැර දැමු අනාවැකියක් වශයෙන් යෙසයා 2:2-3 දක්වන්න පුලුවන්.

එන්න, ස්වාමින්වහන්සේගේ කන්දටත් ජාකොබ්ගේ දෙවියන්වහන්සේගෙ ගෲහයටත් යමු. උන්වහනසේ තමන්ගේ මාර්ග අපට උගන්වන සේක. අපිද උන්වහන්සේගේ මාවත් වල යන්නෙමුයැයි කියන්නෙමුයැයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමින්වහන්සේගේ වචනය ජෙරුසලමෙන්ද නික්ම යන්නේය.

මෙම අනාගතවාක්‍යයෙහි පසුබිම නම් මෙසියස්ගේ දෙවැනි පැමිණීමයි. ඒ අනුව මුලු ලොවම ජේසුගේ අවුරුදු දහසේ පාලනයේදී ජෙරුසලම වෙත එන්නේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉගෙන ගෙන එම මාර්ග අනුව යාමටයි. මෙසියස් ව්‍යවස්ථාව උගන්වන හොඳම ගුරුවරයා බව මෙයින් පැහැදිළියි. අවුරුදු දහසේ පාලනයේදි පවා උන්වහන්සේ තම ව්‍යවස්ථාව උගන්වමින් එය පවත්වනවානම් ඇයි අද බොහෝ බයිබල් ගුරුවරු සහ පූජකයින් එම ආදර්ශය අනුගමනය නොකරන්නේ? ඔබ සිතන ආකාරයෙන් අවලංගු වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේට නැවත පිහිටුවීමේ අවශ්‍යයතාව කුමක්ද? මෙහි නොගැලපීමක් ඇති බව ඔබට පෙනෙනවද? ව්‍යවස්ථාව අදටත් වලංගු බව ඉතා පැහැදිළි ලෙස ජේසුගේ වචනයෙන් පෙනී යද්දී සමහරුන් ව්‍යවස්ථාවට විරුද්ධව පාවුලු කතා කලේ යැයි පෙන්වන්න උත්සහ කරනවා. ඔබ එසේ සිතනවානම් මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයන්න. ජේසු ඉතා දැඩි ලෙස ව්‍යවස්ථාවෙන් කරුණු පැහැදිලි කරදී ඊට එකඟව ජීවත් වන විට ඇයි, සභාව, පාවුලු ව්‍යවස්ථාවට එරෙහිව කතා කළ බව පෙන්වන්නේ? පාවුලු ජේසුට වඩා පහලින් සිටින බවත් උන්වහන්සේගේ ශ්‍රෙෂ්ඨත්වයට කිසි විටකත් සමාන නොවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. පාවුලුම එකල සභාවන් වලට ලියමින් කියනුයේ, ඔහුගේ අනුගාමිකයෙක් වන්න කියාය, මන්ද ඔහුත් ජේසුස්වහන්සේගෙ අනුගාමිකයෙක් නිසා. ජේසුස්වහන්සේගේ අනුගාමිකයෙක් නම් ව්‍යවස්ථාවට විරුද්ධව නැගී සිටීද? පාවුළු එසේ කලාදැයි වැඩි දුර දැන ගැනීම සදහා අපි බලමු ඔහු ලියු හසුන් වලින් සැබෑවටම කියන්නේ මොනවාද කියලා! වැඩි වශයෙන් කතා බහට ලක් වු කිතුනුවන් තුල වැරදි ලෙස අර්ථකතනය වන පදයක් ලෙස රෝම 6:14 අපි සෝදිසි කර බලමු.

'කුමක් හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින් පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය'

වර්තමාන ලෝකයේ නීතියට/ ව්‍යවස්ථාවට යටත්වීම යනු අධිකරණ නීතියට යටත් හා සමාන කියමනකි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබ ඉන්දියාවේ නීතියට යටත් නොවේ. නමුත් ඔබ ඉන්දියාවට පැමිණියොත් එහිදි ඔබ ඉන්දියාවේ අධිකරණ නීතියට යටත්වේ. අනේකාකාර සම්ප්‍රදයින්වලට වහල්වී අන්‍යය ජාතින්ව සිටි අප කිතුනුවන් ලෙස දැන් දේව රාජ්‍යයට ඇතුල්වී සිටිනවා නම් දේව රාජ්‍යයේ ව්‍යවස්ථාවට යටත්වීමට සිදුවෙනවා නේද? මේ එක් පැතිකඩක් පමණි. එසේ නම් පාවුළු මෙහි කතා කරන ව්‍යවස්ථාව කුමක්ද?

අනෙක් අතට ඔබ රටේ නීතියකට යටත් වෙන්නේ එම නීතිය ඔබ විසින් උල්ලංගණය කලොත් පමනි. ඔබ එය කඩනොකර ජීවත් වෙනතාක් එම නීතියට ඔබට විරුද්ධව ක්‍රියා කිරීමට බලයක් නොමැත. එලෙසම ඔබ එය කඩ නොකලේ නම් ඔබව විනිශ්චය කිරීමටද එයට බලයක් නොමැත. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ කාරණා වලදී එයත් මේ ආකාරයෙන්ම ක්‍රියාත්මකවේ. පාවුලු රෝම 6 කතා කරන පසුබිමත් එලෙසමයි. ඔබ පව්කාරයෙක්/වරදකරුවෙක් නම් ව්‍යවස්ථාව ඔබ තුල සිට ඔබට බලපැම්කර ඔබ විනිශ්චය කරයි. පව්කරුවෙකු සැම විටම ආත්මික දෙයට නොව මාංශයේ දේවලට ඇලුම් නිසා ඔහුව පාලනය කරන්නේ මාංශයේ සහ තෘෂ්ණාවේ ව්‍යවස්ථාවයි. එය සැමවිටම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස කාමමිථ්‍යාචාරය නොකල යුතු යැයි දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් කියන විට ඔබේ මාංශයේ ව්‍යවස්ථාව සැමවිටම කාමමිථ්‍යාචාරය කිරීමට ඔබ පොළඹවයි. නමුත් ඔබ ජේසුස්වහන්සේ තුල ගැළවීම ලැබු කෙනෙකු නම් තවදුරටත් පාපයේ ජීවත් නොවන බැවින් එම පාපයේ සහ මාංශයේ ව්‍යවස්ථාවට ඔබට බලපැම් කලනොහැක. රෝම 8:1 සිට මෙය ඉතා පැහැදිලිව පාවුළු විස්තර කරනවා.

>එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක නැත. මක්නිසාද ක්‍රිස්තුස් ජේසුස්වහන්සේ තුළවූ ජිවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

ක්‍රිස්තුස් ජේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව නම් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවයි. ජේසු විසින් අලුත් ව්‍යවස්ථාවක් අපට හඳුන්වාදුන්නේ නැහැ. උන්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඉගැන්වීම් වල අධ්‍යාත්මික අරුත අපට පෙන්වා දුන්නා පමණි. ජොහාන් 7:16 උන්වහන්සේ මෙහෙම කියන්නේ ජේසු අලුත් ව්‍යවස්ථාවක් ඉගැන්වූ නැති නිසයි.

‘එහෙයින් ජේසුස්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවු තැනැන්වහන්සේගේය.

තවදුරටත් 1 ජොහාන් 3:5 පැහැදිලි කරනවා ජේසුස්වහන්සේ පැමිණියේ අපේ පව් නැතිකර දැමීමට මිසක් අපිට තවදුරටත් පව්කිරීමට අනුග්‍රය දැක්වීමට නොවන බව.

පාපය නම් නොපණත්කමය. පව් දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබු බව නුඹලා දන්නෙහුය. කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැත. යමෙක් උන්වහන්සේ තුල පවතීද, ඔහු පව් කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් ඇඳිනගත්තේවත් නැත.

පාපය යනු ව්‍යවස්ථාව කඩකිරීම (නොපණත්කම) බව පවසයි. එසේ නම් ඔබ පව් නොකර සිටීමට ව්‍යවස්ථාව කඩ නොකල යුතුයි. එනම් ව්‍යවස්ථාවට කීකරු විය යුතු බවයි. මෙසේ ඔබට ව්‍යවස්ථාවට කීකරුවී පව් නොකර සිටීමට ජේසුව අදහාගැනීම තුලින් පැමිණෙන උන්වහන්සේගේ අනුග්‍රහයෙන් /වරප්‍රසාදයෙන් පුලුවන්කම ලැබෙනවා. ඒ අනුව ඔබ ව්‍යවස්ථාව තවදුරටත් කඩකර පව් නොකරන බැවින් රෝම 6:14 සඳහන් කල පරිදි ව්‍යවස්ථාව කඩ කිරීමෙන් පැමිණෙන පාපයට ඔබ කෙරෙහි බලපැම් කළ නොහැකියි. ජේසුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුල වාසයකරන බැවින් පව් නොකර සිට ව්‍යවස්ථාවට කීකරුවිමට එය රුකලක්වේ. තව දුරටත් පැහැදිළි කිරීමට 1 ජොහාන් 3:7 බලන්න.

‘මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි. පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ නිසාය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. දෙවියන් වහන්සේගෙන් ඉපදි සිටින කිසිවෙක් පව් කරන්නේ නැත.’

ඔබට දැන් පැහැදිළි ඇති පාවුලු තුමා රෝම 6:14 ලියු දෙයින් අදහස් කලේ මොකක්ද කියලා. එනම් ව්‍යවස්ථාව අවලංගු නොව ජේසුස්වහන්සේ කෙරෙහි ඇදහීමෙන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවීමට ලැබෙන අනුග්‍රහය නිසා අපි තව දුරටත් පව් නොකරන බැවින් පාපයටද, පාපයේ සහ මරණයේ ව්‍යවස්ථාවටද අප කෙරෙහි අධිපතිකම් කිරීමට නොහැකි බවයි. එසේනම් ජේසුස්වහන්සේ අදහනවා කියමින් තවමත් පුරුදු පරිදි පව්කරන (ව්‍යවස්ථාව කඩ කරන) පුද්ගලයා කොතරම් බොරුකාරයෙක්ද?

ඒත් සමඟම පාවුළු යැවූ හසුන් වල සැමවිටම කතා කරන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් ටෝරාව ගැන පමණක් නොවන බවද තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඔහුගේ හසුන් වල ව්‍යවස්ථාවන් රාශියක් පිලිබඳ කතා කරනවා.ඒ හැම අවස්ථාවකදීම ඔබ එය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවත් සමඟ අමුණාගත් බැවින්, පාවුළුගේ හසුන් කිතුනුවන් වැරදි ලෙස තේරුම්ගෙන සිටිනවා. පහත පද දෙස බලු කල ඔබට එය වැටහී යනු ඇත. එම නිසා ඒ හැම කරුණකම පසුබිම පිලිබඳ අවබෝධය නැතිව පාවුළු පවසන්නේ කුමක්ද කියා ඔබට වටහා ගැනීමට අපහසුවේ.

පාපයාගේ ව්‍යවස්ථාව

(රෝම 7:22)

මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. නමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට (එනම් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට) විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහිම වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුල තිබෙන බව පෙනේ.

ඇදහීමේ ව්‍යවස්ථාව

(රෝම 3:27)

- එසේ වී නම් පාරට්ටු කරගැනීම කොයිද? එය බැහැර කරනලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත; ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය.

ධර්මිෂ්ටකමේ ව්‍යවස්ථාව

(රෝම 9:31)

- ඊශ්‍රායෙල් වනාහි ධර්මිෂ්ටකමේ ව්‍යවස්ථාවක් අනුව ගොස් ඒ ව්‍යවස්ථාවට නොපමිණියේය කියාය.

ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව

(රෝම 8:2)

මක්නිසාද ක්‍රිස්තුස් ජේසුස්වහන්සේ තුළවූ ජිවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව (එනම් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට) පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

දෙවනුව අද බොහෝ කිතුනුවන් ගලාති පොත දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන බව උගන්වනවා. වැඩි දුර කතා කිරීමට ප්‍රථම අපි බලමු මේ හසුන ගලාතිවරුන්ට යැවීමට පසිබිම් වූ කාරණා මොනවාද කියා. ජේසුස්වහන්සේ අදහා ගැනීමට ප්‍රථම පාවුලු තමා පුහුනුකරනු ලැබු පරිසිවරයෙක් බව පිලිප්පි 3:5 ඔහු කියා සිටිනවා. ඔහු ගැළවීම ලැබු පසු පරිසිවරුන් සමඟ නිරන්තර ගැටුම් වලට පාදක වුනු බව ක්‍රියා පොතේ බොහෝ තැන්වල කථා කරනවා. ක්‍රියා පොතේ 15 වෙනි පරිච්චේදයේ අන්‍යය ජාතින්ට යැවු ලිවුමේ පැහැදිළිවම පාවුලු පරිසිවරුන්ගෙන් ඇදහිලිවන්තයන් ආරක්ෂා කරගැනීම සඳහා, පරිසිවරුන්ගේ සම්ප්‍රදායි ඉගැන්වීම් වලින් ඇදහිලිවන්තයින් ඈත් කරවන ලෙස කටයුතු කලා. මක්නිසාද පරිසිවරු ව්‍යවස්ථාවට අමතරව ඔවුන් විසින් නියම කරගත් ඔවුන්ගේම නීති රීති වලට ඇදහිලිවන්තයින් හසුකරගෙන ඔවුන් පිට අනවශ්‍යය බරක් දැමු නිසයි.

ජේසුස්වහන්සේද මේ ගැන මාර්ක් 7 කතා කලා. ගැලවීම ලැබූ ගලාතියේ ඇදහිලිවන්තයින්ද පසුකාලිනව පරිසිවරුන්ගේ ගොදුරට හසු වූ බැවින් එනම් සුන්නත් කිරීමක් (Circumsicion) නොමැතිව ගැලවීම අයිති කර ගත නොහැකි යන ඉගැන්වීමට පිළිතුරු දීමක් වශයෙන් ගලාතියට යැවූ හසුන නම් කරන්න පුළුවන්. පරිසිවරුන් ඉගැන්වූයේ ගැලවීම පැමිණෙන්නේ ඇදහිල්ලෙන් නොව ක්‍රියා වලින් බවයි. එහිදී පාවුලු පරිසිවරුන් උගන්වන ලෙස ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් ගැළවීම නැති බවත් ජේසුස්වහන්සේ අදහාගැනීම (Faith) තුල පමණක් ගැළවීම ඇති බව පුන පුනා පවසන්නේ, ආත්මයාණන්වහන්සේ ලැබෙනුයේ ජේසු අදහා ගැනීම තුලින් පමණක් බව ප්‍රකාශ කිරීමෙන්. ඔබට දැන් පැහැදිළිද පාවුලු ගලාතියට ලියු හසුනේ පසුබිම? එනම් පරිසිවරුන්ගේ බොරු ඉගැන්වීම් /සම්ප්‍රදායින් වලින් ඔවුන් ගලවා ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ටකම (Obediance out of faith) ඉගැන්වීමටයි. ඒ අනුව ගලාති 3:10-12 දක්වා පරීක්ෂා කර බලමු.

‘මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා වල පිහිටන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද: ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු ධර්මිෂ්ඨකරුනු නොලබන බව පැහැදිළිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය. ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ. නමුත් ඒ දෙය කරන තැනැත්තේ එයින් ජීවත් වන්නේය.’

ඇදහිල්ල යනු මූලයයි. ව්‍යවස්ථාව යනු ඵලයයි. එබැවින් මූලය නැතිව ඵල හට නොගන්නාක් මෙන් ඇදහිල්ල නැතිව ව්‍යවස්ථාවේ ඵල හටගන්නේ නැත. නමුත් පරිසිවරුන්ගේ මූලය නම් ව්‍යවස්ථාවයි, එහි ඵල නම් ඔවුන්ගේ සිරිත් විරිත්, ශික්ෂා සහ සම්ප්‍රදායනුයි. ව්‍යවස්ථාව ආශිර්වාදයක් වගේම එය ශාපයක්. ආශිර්වාදය හෝ ශාපය උරුමකර ගැනීමේ වගකීම තියෙන්නේ අපිටයි. ද්වීතික කථාවේ 11:26 බලන්න. මම නුඹලා ඉදිරිහි ආශීර්වදයක්ද ශාපයක්ද තබමි. ආශීර්වාදය වන්නේ මා අද නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ ආඥාවලට නුඹලා කීකරුවුනොත්ය. ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය. එහි 28 වෙනි පර්ච්චේදයේ එය නොපැවැත්වීමේ ශාප සහ එය පැවැත්වීමේ ආශීර්වාද ගැන විස්තර කරනවා. දෙවියන්වහන්සේ ව්‍යවස්ථාවේ ශාප සහ ආශිර්වාද ඊශ්‍රයෙල් මුලු සභාව ඉදිරියේ ප්‍රකාශ කල යුතු බව එම පොතේම ලියා තිබෙනවා. ඔවුන් ව්‍යවස්ථාවට කීකරු වුනේ ඔවුන්ගේ ගැළවීම උදෙසා නොවන බව පැහැදිලියි. ධර්මිෂ්ඨකම නම් හරි දේ තෝරා ගෙන එය පැවැත්වීමයි. ඔබ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කොට (අදහා) ව්‍යවස්ථාවේ ක්‍රියා ඇදහිල්ලෙන් පැවැත්වීමෙන් ඔබට උන්වහන්සේගේ සම්මානය නැතිනම් විපාකය හිමිවෙනවා. උදාහරණයක් ලෙස සබත් දවසට කීකරුවී එදින කිසි ව්‍යාපාර වැඩක් නොකර සිටීමට ඇදහිල්ල අවශ්‍යවේ, නමුත් එයට කීකරුවීම හරහා උන්වහන්සේගේ ආශීර්වාදය ඔබට ලැබෙනු ඇත.

මේ දෙයම තමා ව්‍යවස්ථාවේත් ජේසුස්වහන්සේත් උගන්වනු ලැබුවේ. නමුත් පරිසිවරුන්ගේ ඉගැන්වීම ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔවුන් ඉගැන්වුයේ ඔබ ව්‍යවස්ථාවේ ආඥා වලට අමතරව ඔවුන් විසින් නියමකරගත් ආඥා වලටද වැඩි වැඩියෙන් කීකරු වීමෙන් ඔබේ ධර්මිෂ්ඨකම වැඩිවන බවත් ඒ සඳහා ජේසුස්වහන්සේව අදහා ගැනීම අවශ්‍යම නොවන බවත්ය. සරළව කිව්වොත් ඔබේ ක්‍රියා වලින්ම පමණක් ධර්මිෂ්ඨ විය හැකි බවයි. අද කාලයේ ක්‍රියා ලෙස නම් දාන දීම, පිංකම්, ජපමාල උච්චාරණය, උපවාස, මස් අනුභව කිරීමෙන් වැලකීම, දිනපතා පුජාවට සහාභාගී වීම, ප්‍රසාධ නිධාන, පුජකයින්ට පාපොච්චාරණය කිරීම වැනි මිනිසුන් විසින් ධර්මිෂ්ට වීම උදෙසා නිර්මාණය කරගත් නියෝග සහ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට පරිබාහිර වූ අපේම කාරණා පැවැත්වීමෙන් පැමිණෙනවා යයි සිතන ධර්මිෂ්ටකමයි. ඒවා මනුෂ්‍යයින්ගේ ශික්ෂා සහ ගුරුකම් පමණි. පාවුළු රෝම 10: 2-3 දක්වා ලියන්නේ තමුන්ගේ ක්‍රියා වලින් ධර්මිෂ්ටකම සොයන ඇදහිලිවන්තයින්ටයි.

මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා උනන්දුවක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නමුත් එය දැනගම්ම ඇතුවම නොවේ. මක්නිසාද ඔවුහූ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ටකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ටකම ස්ථිරකරන්නට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ටකමට යටත් නුණෝය.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ටකම නම් ජේසුස්වහන්සේ අදහා ගැනීමෙන් අපට උරුම කර දුන් ධර්මිෂ්ටකමයි. මන්දයත් අපේ ධර්මිෂ්ටකම් දෙවියන්වහන්සේ ඉදිරියේ කිළිටි රෙද්දක් යයි යෙසාය 64:6 කියනවා.

ආබ්‍රහම් ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ හඬට කිකරුවී තම දේශයෙන් පිටත්ව ආවා. ඇදහිල්ලෙන් ගනු ලැබූ ඒ පියවර ඔහුට ධර්මිෂ්ටකම කොට ගණන් ගනු ලැබුවා. ඔහු කීකරු වුයේ දෙවියන්වහසේගේ හඬටයි නැත්නම් වචනයටයි. ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව සතුටු කළ නොහැකි බව හේබ්‍රෙව් 11:6 කියනවා. ජේසුස්වහන්සේත් මෝසෙසුත් ඉගැන්වුයේ මේ දෙයමය. පාවුලු තවදුරටත් අපේ ඇදහිල්ලේ ගමන තුල ව්‍යවස්ථාවට ඇති ස්ථානය ගැන ගලාති 3:21 ඔවුන්ට උගන්වනවා.

‘එසේ වී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු වලට විරුද්ධද? එසේ නොවේවා! මක්නිසාද ජීවත්කරන්නට පුලුවන් වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේනම්, ධර්මිෂ්ඨකම සැබවින්ම ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.’

රෝම 3:31 මෙහෙම කියනවා.
‘එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගු කරමුද? ඒසේ නොවේවා! අපි ව්‍යවස්ථාව ස්ථීරකරමුව’

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නම් ධර්මිෂ්ඨකම උදෙසා උගන්වනු ලබන උපදෙස් සහ නීති රීති මෙන්ම පාපය ගැන දැන ගැනීමට අපට දෙනු ලැබු උපදෙස්මාලාවක්ය. ඒ හරහා ඔබ ශුද්ධ සහ අශුද්ධ එක අතර වෙනසද, පිරිසිඳු සහ අපිරිසිඳු කෑම අතර වෙනසද, සුදුසු සහ නුසුදුසු දෙය අතර වෙනසද යනාදි බොහෝ කරුණු අතර වෙනස හඳුනා ගැනීමට හැකි වෙනවා. ව්‍යවස්ථාව නොමැතිව ඔබට කිසි විටෙක පාපය කුමක්දැයි තෝරා වෙන් කර ගැනීමට නුපුලුවන. ව්‍යවස්ථාව නොමැති තැන පාපයක්ද නොමැත. එළිදරව්ව පොතේ පවසන ආකාරයට අවසාන විනිශ්චය නැත්නම් සුදු සිංහාසන විනිශ්චය උන්වහන්සේ කරන්නේ කොහොමද ව්‍යවස්ථාවක් නැතුව? එබැවින් ව්‍යවස්ථාව නැති බව කීමෙන් ඔබ තුල පව් කිරීමට ඇති ආශාව ඉස්මතුවේ. උදාහරණයක් ලෙස ඔබේ රට තුල ව්‍යවස්ථාවක් නොමැති නම් ඔබට වරද තැබීමටද රටේ බලධාරීන්ට පුලුවන්කමක් නැත. මාර්ග නීති උල්ලංගණය කිරීමෙන් ඔබ වරදකරුවෙක් වෙන්නේ රිය පැදවීමට අදාල නීති රීති තිබුනොත් පමණි. ව්‍යවස්ථාවේ අඥා වලට කීකරුවීමෙන් දෙවියන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේට දිය යුතු ගෞරවයත් ප්‍රශංසාවත් පිදීමට අපට මාර්ගය සළසා දී තිබෙනවා. අප එකිනෙකා සමඟ හැසිරිය යුතු ආකාරය මේ තුලින් අපට කියා දෙනවා.

ඔබගේ පදවිය අනුව ඔබ උන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු විය යුතු ආකාරය වෙනස් වෙනවා. පුරුශයෙක්, ස්වාමිපුරුශයෙක්, පියෙක්, පුතෙක් වශයෙන් එම ආඥා ඔබට වෙන වෙනම අදාල වෙනවා. ඔබ පූජකයෙක් නම් ඔබට වෙන්වු අණ පනත් තිබෙනවා. එසේම ස්ත්‍රියකටත් මෙලෙසම ක්‍රියාත්මක වෙනවා. ඔබ මොන පදවියක හෝ තරාතිරමක වූවත් අප සියලු දෙනා උදෙසා දස පණත නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතුයි. එම ආඥා කොටස් දෙකකට සාරාංශ කල හැකියි. එනම් නුඹේ මුලු සිතන්ද, නුඹේ ආත්මයෙන්ද නුඹේ ශක්තියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව යන පළමු ආඥාවත් (ද්විතික කතාව 6:5) නුඹට මෙන් නුඹේ අසල්වාසියාටද ප්‍රේම කරව (ලෙවී කතාව 19: 18) යන දෙවනි ආඥාවටත්ය. මේ ආඥා දෙක ජේසුස්වහන්සේ විසින් දුන් ආඥා නොව දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට දුන් බව ද්විතික කතාවේ සහ ලෙවී කතාවේ සඳහන් වෙනවා. පළමු ආඥාවට අකීකරු වී දෙවනි ආඥාවට කීකරුවීමට නුපුලුවන. පළමු ආඥාවට කීකරුවීමෙන් ඔබ නොදැනුවත්වම දෙවනි ආඥාවට උන්වහන්සේ ඔබට කීකරුවීමට සළස්වනවා. ජේසුස්වහන්සේ කිසිවිටක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවු බව හොඳින් පෙනී යනවා. අද බොහෝ කිතුනුවෝ පවසන ආකාරයෙන් ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ අඥා වෙනුවට අලුත් ආඥාවක් දුන්නෙ නෑ. උන්වහන්සේම ඒ ගැන සාක්ශි දෙනවා යොහාන් 7:16-18

‘එහෙයින් ජේසුස්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවු තැනැන්වහන්සේගේය. යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වු ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය. තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නමුත් තමා එවු තැනන්වහන්සේගෙ ගෞරවය සොයන්නා සැබෑවු කෙනෙක්ය.’

දෙවියන්වහන්සෙ මෝසෙස් හරහා දුන් ආඥා සහ අණ පනත් කිසි විටෙකත් අහෝසි කරනු ලැබුවේ නැත. ජේසුස්වහන්සේ තුල එය වඩ වඩාත් ස්ථීර කරමින් එයට පෙර තිබුනාට වඩා වැඩි තේරුමක් ජේසුස්වහන්සේ විසින් දෙනු ලැබුවා. ඒ නිසා උන්වහන්සේ කියනවා මා පැමිණියේ අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමට බව. සම්පූර්ණ කිරීම යනු අසම්පූර්ණව ක්‍රියාවට දමා තිබු ව්‍යවස්ථාව, එහි නියම අරුත පෙන්වා දීමෙන් සම්පුර්ණත්වයට ගෙන ඒමයි. පාවුලු පවසන ආකාරයට අපිට ජේසුස්වහන්සේගේ අනුගාමිකයින් වී උන්වහන්සෙගේ සිතම අප තුල පැවතිය යුතුයි. පව්කාර වු ඔබත් මාත් කොහොමද ඒ දෙය අප ජීවිතය තුල ඉෂ්ඨ කරගන්නේ? ගලාති 3:24 එයට පිළිතුර සපයා දී තිබෙනවා.

‘මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ලඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.’

අපට ඇදහිල්ල උගන්වන අපේ ගුරුවරයා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවයි. නව ගිවිසුම තුල කිසිම අවස්ථාවක මෙය අහෝසි හෝ අඩුවී ඇති බව සඳහන් නොකෙරේ. මෙතෙක් කල් ඔබ දේව වචනයට අවධානය යොමු නොකල බැවින් අද බොහෝ සභාවල පාලකයින් පවා රැවටී සිටීම පුදුමයට කරුණක් නොවේ. අවසාන වශයෙන් මේ ගැනත් සිතා බලන්න. මතෙව් 5:17 උන්වහන්සේ කිව්වා අහසත් පොළොවත් පහව යන තුරු ව්‍යවස්ථාවෙන් අකුරක් හෝ බිංදුවක්වත් කිසිසේත් පහව නොයන බව. අද අපි වාසය කරන විශ්වය පහව ගොස් නැති බව ඔබට ඔප්පු කිරීමට අවශ්‍ය නැත. එසේ නම් ව්‍යවස්ථාවත් ජේසුස්වහන්සේ පැවසු ලෙසම තවම වලංගුයි නේද?

දෙවියන්වහන්සේගේ පොරොන්දු වලට අන්‍ය ජාතින්ව සිටි අප ජේසුස්වහන්සේ අදහාගැනීම තුලින් ගැළවීම ලැබ තවදුරටත් අන්‍ය ජාතීන් මෙන් නොව පොරොන්දුවේ උරුමක්කරයින් ලෙස ආබ්‍රහම්ගේ වංශයට එනම් ඉශ්‍රායෙල්ට සම්බන්ධ වී ඇති බව ගලාති 3:29 ලියා තියෙනවා.

‘ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.’

එබැවින් තවදුරටත් යුදෙව්වෙක්වත් අන්‍ය ජාතිකයෙක්වත්, දාසයෙක්වත් නිර්දාසයෙක්වත් නැතිව ජේසුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුල සිටින බව කොලොස්සි 3:11 කියනවා. එනිසා ඉශ්‍රාලිතයාට වෙනම ව්‍යවස්ථාවකුත්, ගැළවීම ලැබු අනෙකුත් ජාතීන්ට වෙනම ව්‍යවස්ථාවකුත් නැති බව මෙයින් පැහැදිළි වෙනවා. සියලු දෙනාම ජේසුස්වහන්සේ තුල එකම ව්‍යවස්ථාවකට එනම් දෙවියන්වහන්සෙගේ ව්‍යවස්ථාවට යටත් කියන එක ඔබට තේරුම් යන්න ඇති! ඇරත් ජේසුම ව්‍යවස්ථාව පවත්වන්න කියා අවවාද කරද්දී ඇයි තවමත් ඔබ මේ ගැන විවාද කරන්නේ? මතෙව් 23:1 කියවා තේරුම්ගන්න.

ලියන්නොද පරිසිවරුද මෝසෙස්ගේ ආසනයේ හිඳිති. එබැවින් ඔවුන් අණකරන සියල්ල (මෝසෙස්ගේ ව්‍යවස්ථාව) ඉෂ්ටකර පවත්වපල්ලා. නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා. මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.

පසුකාලීනව පාවුළුගේ හසුන් වැරදි ලෙස අර්ථකථනය වන බව අනාගතවාක්‍යයෙන් මනා ලෙස 2 පේදුරු 3:16 ලියන්නේ අද සභාවේ සිටින දේව දාසයින් සහ ඇදහිලිවන්තයින් ගැනයි. එපමණක් නොව එය ඔවුන්ගේම විනාශයටද හේතුවක් වෙන බව ඔහු කියනවා.

අපේ ප්‍රේමවන්ත පවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක් මෙන්, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයැයි සළකාපල්ලා. එමෙන්ම සියලු ලියුම් වලත් ඔහු මේ දේවල් ගැන කතාකර තිබේ; එහි තේරුම් ගැනීමට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථීර තැනැත්තෝ අන් ලියවිලි මෙන් තමුන්ගේ විනාශයට ඒවාත් පෙරළති.

ව්‍යවස්ථාව අවලංගු යැයි උගන්වනු ලබන ගුරුවරුන්ට ජේසුම මෙහෙම කියනවා

එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නමුත් ස්වර්ගරාජ්‍යහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. (මතෙව් 5:19)

ව්‍යවස්ථාවට කීකරුවීම හරහා පහතින් දැක්වෙන දේ ඔබට උරුම කරගත හැකිවේ. නමුත් අද බොහෝ කිතුනුවන් එය ශාපයක් ලෙස සළකා ඇත.

මේ කාරණා දෙක එනම් ආශීර්වාදය සහ ආරක්ෂාව ඔබේ ජිවිතයේ සොයමින් කොතරම් වෙහෙසකාරී වී සිටිනවද? නමුත් නොමිලයේ උන්වහන්සේ එය ඔබට හිමි කරදීමට කැමති වුනත් එම තීරණය ගැනීමේ නිදහස උන්වහන්සේ ඔබට ප්‍රදානය කර ඇත. ආශීර්වාදය සහ ආරක්ෂාව අයිති කරගැනීමට අවශ්‍යය සියලුම උපදෙස් සහ අනුශාසනා බයිබලය ලෙස කුඩා පොත් 66ක් ආකාරයෙන් සෑම කිතුනු නිවෙස්වල උස් ස්ථානයක රඳවා එම පොතට නමස්කාර කරමින් තිබුනද එය කියවා එහි ඇති ප්‍රඥාව, දැනගන්ම, මඟපෙන්වීම වැනි වඩා වැදගත් කාරණා අමතක කර මනුෂ්‍යයන් විසින් නියම කරගත් රූප වැඳීම, සුව මෙහෙයන්, පූජා වැනි නිෂ්පල වූ දේවල් අනුව යාම කණගාටුවට කරුණකි. නමුත් ඔබගේ සැබෑ ගැලවීම ඇත්තේ උන්වහන්සේගේ ජීවමාන වචනය තුල පමණි.